අය වැය
මම දැකලා තියෙනවා ලංකාවේ දියළු නිධි වලින් මැණික් ගරන හැටි. මට හිතෙන විදිහට ගෝනියාවේ ආන්ඩු තෝරන්නෙත් එහෙමයි.
මිණි බොරලු ඉල්ලම අවට බිමෙන් වෙන්කරගෙන්නේ ඡන්දේ දෙන්න සුදුස්සෝ වෙන්කර ගන්නවා වගේ - මේ අවස්ථාවේදී මූලික ඉගෙනීම අනුව. ඉල්ලම ගරා වටිනාකමක් ඇති ගල් වෙන්කරගෙන, ඉන් පසුව ඒවා මැණික් විද්යාවත් වාණිජ අගයත් අනුව වර්ග කිරීම රටේ ආන්ඩුවත් මැති ඇමතිත් තොරා ගැනීමට සමානයි. ක්රමය කුමක් වුවත් අවසානේ රජය පිහිටවන්නේ ‘සුදුස්සන්’ තෝරාගැනීමක් ලෙස මිස ‘ජනප්රියයන්’සොයා ගැනීමක් ලෙස නොවෙයි.
මේ ගෝනියා ආන්ඩු තෝරාගැනීමේ ක්රමයේ බොහෝ අඩුපාඩු ඇති - මට දැනට ඒවා නොපෙනුනාට. ක්රමයේ ප්රබලතාවයත් දුබලතාවයත් තේරුම් ගන්න අදහසින් මම උදාහරණයක ආධාරය පැතුවා.
“රාහිත්, විකී, ආරුන්, මාරා… මට ගෝනියාවේ ආන්ඩුව ගැන තේරුම් කරදෙන්න දැනට මෙතන ඉන්න විශේෂඥයෝ හතරදෙනාගෙන්ම මම ඊලඟ ප්රශ්නේ අහන්නේ… අපි හිතමු ඔය හතරදෙනාගෙ ගම් වල අළුත් ඉස්කෝලයක්, නැත්නම් පාලමක්, ඒත් නැත්නම් පොදු ගොඩනැගිල්ලක් වගේ දෙයක් හදන්නේ කොහොමද? ඒ කියන්නේ කොයි වගේ ක්රියාපරිපාටියක්ද පිළිපදින්නේ?”
මේ වගේ ප්රශ්න වලට එක සැරේම උත්තර දෙන්න බැරි බව මට තේරෙනවා. මම මේසෙන් නැගිටලා වැසිකිලිය පැත්තට ගියා, මගේ අවශ්යතාවය සපුරන්නත් සගයන්ට සාකච්චා කරන්න අවස්ථාව සලසා දෙන්නත්.
“අපෙ ගමේ පාලමක් හැදුවා දැන් මාස කීපෙකට ඉස්සර”
ආරුන් මෙහෙම කිව්වේ මා දිහා බලාගෙන - මගෙන් ප්රශ්නයක් බලාපොරොත්තුවෙන් වගේ.
“කොච්චර ලොකු ප්රොජෙක්ට් එකක්ද?”
“ඒ කිව්වේ?”
“සම්පූර්ණ වියදම කීයද? කවුද ගෙව්වේ? කොච්චර කාලයක් ගියාද? අන්න ඒ වගේ දේ…”
“මාස තුනක් ගියා, ඉදි කරන අදියරට. සැලසුම් වලට කොයි තරම් කල් ගියාද දන්නෙ නෑ… ගෙව්වේ ආන්ඩුවෙන් - අනික් ඉදි කිරීම් වගේමයි. වියදම කොච්චරද කියලා දන්නෙ නෑ”
ඊලඟ ප්රශ්නේ අහන්නේ කොහොමද කියලා මම ටිකක් හිතලා බැළුවා.
“මම අහන ප්රශ්නේ ගැන උදාහරණයක් දෙන්නම්… ලංකාවේ පාරක්, පාසැල් ගොඩනැගිල්ලක් එහෙම හැදුවොත් එතන දැන්වීම් පුවරුවක් සවිකරනවා ව්යාපෘතියේ අනුග්රාහකයා, වියදම, විවෘතකළේ කවුද, කවදාද වැනි දේ, ජනතාවට කියවගන්න… ඇත්තම කිව්වොත් මේ පුවරු දේශපාලනේ නිරතවී ඉන්න අය තමාගේ දස්කම් පෙන්වන්න අටවන දේ. මැති ඇමතියෝ හුඟක් වෙලාවට නමෙන් විතරයි මේ ව්යාපාර වලට සම්බන්ධ වෙන්නේ - වැඩ කරන්නේ අනික් අය… මේවගෙ මම දකින එකම වටිනා දත්ත දෙකක් තියෙනවා - ආන්ඩුව කොයි තරම් මුදලක් වැය කරාද සහ විවෘත දිනය…”
කතාකළේ රාහිත්.
“විවෘත දිනය වැදගත් බව මට තේරෙනවා… හරියට වැඩ ඔක්කම ඉවරයි වගේ… නමුත් ඇයි වියදම් වැදගත්?”
ඒක මට ලේසියි.
“ආන්ඩුවේ සල්ලි කියන්නේ රටේ, ඒ කියන්නේ අපේ සල්ලි. වැඩේට සල්ලි හරියට වියදම් කරාද, ඕනෑවට වැඩිය වියදම් කරාද කියලා බලන්න”
“ඒක අපිට බෑ නේද? අපි කොහොමද දන්නේ හරි වියදම?”
විකීගෙ කතාවේ ඇත්තක් තියෙනවා. ඕනම ව්යාපෘතියක අපි සේරම නොදන්න අංශ තියෙනවා. ගොඩනැගිල්ලකට සිමෙන්ති කොයි තරම් ඕනද කියලා අපිට හිතාගන්න පුළුවන්, සෑහෙන දුරට. අනික් අවශ්ය වැලි, ගඩොල්, උළු වැනි ද්රව්යත් එහෙමයි. වැඩ කරන අයගෙ වැටුප් එහෙමත් අපි දන්නවා. නමුත් ඉදිකිරීමට පෙර සිද්ධ්වෙන ඉන්ජිනේරු, ගෘහනිර්මාණ වැනි කටයුතු වලත් කළමනාකරණයේ වියදමත් ලේසියෙන් හිතාගන්න බෑ. කෙසේ වෙතත් මේ කටයුතු වලට සියයට තිහක් බැගින් හෝ වෙන්කරලා දළ වශයෙන් මුළු වියදමක් තක්සේරු කළ හැකියි. මම මේක විකීට පැහැදිළිකළේ මගෙ අයියා මට කියා තිබුන ව්යාපෘතියක් උදාහරණෙට අරගෙනයි.
නමුත් විකීටවත් අනික් අයටවත් මගේ පැහැදිළිකිරීම වැටහුන බවක් පෙනුනෙ නෑ. විකීගෙ පිළිතුරේ ව්යාකූල බවක් ගැබ්වී තිබුනා.
“වියදමෙන් විතරක් කොහොමද ව්යාපෘතියක හරි/වැරදි හොයන්නේ? වියදම දළ වුනත් ඉතා නිවැරදි වුනත් ඒ එක පැත්තක් විතරයි නේද?”
“හරි/වැරදිම නෙවෙයි විකී… මම කියන්නේ වියදම් කරපු මුදලට වැඩේ වටිනවද කියලා බලන්න පුළුවන් කියලා”
ඒ සැරේ කතා කරේ රාහිත් - ගෝනියාවේ මගෙ හොඳම, පරණම යාළුවා.
“හ්ම්… මට පෙනෙන විදිහට… මෙතන තියෙන්නේ වැටහීමේ වෙනසක්. විකී කතාකරන්නේ වටිනාකම ගැන; උපාලී කතා කරන්නේ වියදම ගැන…”
අනික් අයගෙ මද සිනාවෙනුත් ශ්‍රීර්ෂ අනුමතියෙනුත් මට දැනෙනවා ඒ හතරදෙනා දකින්නේ මා දකින දේ නොවන බව. මේ වෙනස සසඳා ගන්නතෙක් අපේ සාකච්චාවෙන් අවසාන නිගමනයක් ගත නොහැකිබව මට වැටහුනා.
“තැන්ක්යූ රාහිත්. මේ වෙනස තේරුම් නොගෙන සාකච්චා කරලා වැඩක් වෙන්නෙ නෑ කියලා මට තේරෙනවා. අපි පස්සට අඩියක් ගමු. අර විකී කියපු පාලම ගැන හිතලා බැළුවොත්… මට පැහැදිළි කරලා දෙනවද පාලමේ වටිනාකමෙයි ඒක හදන්න ගිය වියදමෙයි ලොකුම වෙනස?”
අනික් අය මාරා දිහා බැළුවේ මගේ ප්රශ්නයට කළමනාකරණය හදාරන්නෙක් හැටියට පිළිතුරු ඔහුගෙන් ලැබුනොත් වැදගත් බව හඟවමිනි. වැඩිය කතාවට නොකැමති මාරා කතාවට ඉස්සර වතුර උගුරක් බිව්වා.
“පාලම හදන්න යන වියදම හොඳටම අඩු කරන්නේ කොහොමද? ඒකට ලේසිම උත්තරේ තමා ‘පාලම නොහදා ඉඳීමෙන්!’. උපාලී ඒක පිළිගන්නවා නේද?”
“ඔවු… නමුත් අපිට ගඟෙන් එතර වෙන්න පාලමක් ඕන නම්?”
“අන්න එතනයි ‘වටිනාකම’ තියෙන්නේ! අපි මුදල් වලින් වටිනාකම මනින්න පටන් ගත්තේ ඒක කරන්න බොහොම ලේසි ක්රමයක් නිසා. ඒ වගේම ඒ මිම්ම රටවැසියන්ට තේරුම් ගන්නත් ලේසි නිසා… නමුත්… ‘වියදම කීයද - ඒකයි වටිනාකම’ කියන්න අපි පුරුදු වුනොත් යමක ඇත්ත වටිනාකම අමතක වෙනවා”
මාරා ආයෙත් වතුර උගුරක් බිව්වා.
“දැනට තියෙන ව්යාපෘති කළමනාකරණ මෘදුකාංග - සේරටම තේරෙන විදිහට කිව්වොත් ප්රොජෙක්ට් මැනේජ්මන්ට් සොෆ්ට්වෙයා - එහෙමත් ඔය වලටමයි වැටිලා තියෙන්නේ. වැඩ කරන අයගේ සේවය පැය වලින් මනින්නේ ඒක කරන්න ලේසි නිසා. ඒ නිෂ්පාදකතාව, ප්රොඩක්ටිවිටි, පෙනී සිටින පැය ගනනට සහ සම්බන්ධයි කියන්නේ මෝඩයෙක් - අ… මෝඩ සොෆ්ට්වෙයා එකක්!
“හිතලා බලන්න ආන්ඩුවේ හරි පෞද්ගලික අංශයේ හරි සේවකයෝ දෙන්නෙක් ගැන. ඉන් එක්කෙනෙක් දවසේ වැඩකටයුතු හරියට ඉටු කරනවා; අනික් සේවකයා හරියට වැඩ නොකර කාලයි නාස්ති කරනවා. නමුත් දෙන්නම කන්තෝරුවේ ඉන්නේ එකම පැය ගනන; ලබන්නේ එකම වැටුප. තේරෙනවා නේද මම කියන දේ. වියදම එකයි, වටිනාකම හාත්පසින්ම වෙනස්”
මාරා පැහැදිළිව යමක් තේරුම් කරදෙන්න දක්ෂයි. මට හොඳට පුරුදුයි මේ වර්ග දෙකේම මිනිස්සු ලංකාවේ!
“තැන්ක්යූ මාරා - හොඳටම පැහැදිලියි ඒ උදාහරණෙන් වටිනාකමයි වියදමයි අතරේ වෙනස. ලංකාවෙදි මට ඔය වර්ග දෙකේම සේවකයෝ මුණ ගැහිලා තියෙනවා... වැඩිපුරම කාලේ නාස්ති කරන අය! මට හිතෙන්නේ ඒ වගේ නාස්ති අඩුකරන්න මම දන්නේ ක්රම දෙකයි. එකක් හොඳ කළමණාකරනය, අනික කොන්තරක්කු පාවිච්චිය. කළමණාකරනය දියුණු කිරීම ඕනෑම ක්ෂේත්රයකට වටිනා බව පැහැදිලියි - ඒ ගැන විරුද්ධව කතා කිරීම මෝඩ කමක්. නමුත් සේවකයෙක් කරන හැම කටයුත්තක්ම කොන්තරක්කුවක් හැටියට කරන්න පුළුවන්ද්? එහෙම කරන්න අපි උත්සාහ කිරීම හරිද?”
“උපාලී ‘හැම කටයුත්තක්ම’ කියපු කීම හිතා බලන්න වටින එකක්. ඕනම ලොකු ව්යාපෘතියක ආවේණික ලක්ෂණයක් තමා සංකීර්ණත්වය. ඒ නිසා තමා අපි ඒක පාලනය කිරීමට පහසු කොටස් වලට බෙදා ගන්නේ. ප්රොජෙක්ට් මැනේජර් සොෆ්ට්වෙයා ඇතුව හෝ නැතුව මේක කරනවා. මේ කොටස් කොයි තරම් පොඩියට කඩනවද කියන එක මැනේජර්ගෙ දැනුමත් පළපුරුද්දත් සමග වෙනස් වෙනවා. මේවා අපි දන්නවා - අළුත් දේ නෙවෙයි. නමුත් ව්යාපෘතිය කොටස් වලට කඩාගැනීමේදී තව වැදගත් දෙයක් සිද්ධ වෙනවා - මං හිතන්නේ ඒක උපාලිට වැදගත්”
මාරා ආයෙත් සද්ද නැතුව මා දිහා බලාගෙන හිටියා තප්පර කීපයක්.
“උපාලී කිව්ව නේද මැති ඇමති නම් දාපු දැන්වීම් පුවරු ගැන… ඒවා ව්යාපෘතිය කොටස් නෙවෙයි… එවැනි අනවශ්ය ක්රියා වලින් ව්යාපෘතියට උදව්වක් ලැබෙන්නෙ නෑ… මෙතෙන්දී අපිට හිතන්න පුළුවන් දැන්වීම් පුවරුවකට යන වියදම ඉතා සුළුයි, ඒ නිසා ප්රධාන වැඩේට බාධාවක් වත් හානියක්වත් වෙන්නෙ නෑ කියලා. මම දැන්වීම් පුවරු ගත්තේ උදාහරනයක් හැටියට. අපි පාලමක් හදන වැඩේට සුඛෝපභෝගී රථවාහන, ලොකු කන්තෝරු, අත්යාවශ්ය නොවන සේවකයෝ, තාක්ෂණික උපකරණ සහ පුහුණු කිරීම්… මේ ලැයිස්තුව සෑහෙන්න දික් වෙන්න ඉඩ තියෙනවා. ඒවා ව්යාපෘතියෙන් ඉවත් කිරීම කළමණාකරනයේ කොටසක්…”
“නමුත් පාලම සැදීමේ ක්රියාවට මුදල් වෙන්කිරීමට දේශපාලකයෝ අවශ්යයි. ඒ කියන්නේ ඒ අයත් පාලම සැදීමේ කොටස්කාරයෝ…”
“හරියට බස් ඩ්රයිවර්ලා දොස්තර පුහුණුවේ කොටස්කාරයෝ වගේ … සිසුවෝ ඉස්කෝලෙටත් වයිද්ය විද්යාලෙටත් ගෙනගිය නිසා… උපාලී… බස් ඩ්රයිවර්ලයි දේශපාලකයොයි කරන්නේ රස්සාවක් - පඩි ලැබෙන රස්සාවක්. ඒ අය ඒ අයගෙ රස්සාව කළා කියලා අපි වඳින්න ඕනද?”
ඒ කතාවේ ඇත්තක් තියෙනවා නමුත් ඒක සම්පූර්ණ නෑ..
“මෙතන වඳින කතාවක් නෑ - ජනතාව දැනුවත් කිරීමක් වෙන්නේ. ඒක වැරදිද?”
ඒකට උත්තර දුන්නේ රාහිත්.
“ජනතාව දැනුවත් කිරීම හොඳ දෙයක් කියලා අපි සේරම පිළිගන්නවා. රටේ වෙන්නේ මොනවද කියලා ජනතාව දැනගන්න ඕනෑ. හොර බොරු වංචා එළි වෙන්නේ එහෙමයි… දැන් අපි අපෙ පාලම ගැන හිතලා බැලුවොත්… පාලමක් හැදුවා කියලා කියන්න ඕන නෑ - ඒක සේරටම පෙනෙන්න තියෙනවා. රටේ පාලම් හදන්නේ මොන මොන දෙපාර්තමේන්තු වලින්ද කියලා මිනිස්සු දන්නවා. දන්නෙ නැත්නම් සොයාගන්න අමාරු නෑ - ඒ වගේ දේ දැනගන්න ඕන ඇයි කියලා මට තේරෙන්නෙ නෑ… එතකොට මුළු වියදම, කාර්ය භාර මැති ඇමති වගේ දේ වැදගත් නෑ - පොඩ්ඩක්වත්! ඒවා වැදගත් ආන්ඩුවට ‘ජයවේවා!’ කියලා කත් අදින අයටත්, ආන්ඩුවට ‘මුං හොරු’ කියලා බනින අයටත් විතරයි. ඒ දෙගොල්ලගෙන්ම ජනතාවට හානියක් මිස සේවයක් වෙන්නෙ නෑ… අපිට ඇත්තටම දැනගන්න ඕනෑ දේ තමා පාලම සුරක්ෂිතද? ගංවතුරකට ඔරොත්තු දෙයිද? පාලමෙන් ගෙනගියහැකි උපරීම බර කුමක්ද? …. ජනතාවට වටිනා තොරතුරු මේ වගේ දේ - ඒවා බොහෝවිට මුදලෙන් මනින්න බෑ!”
“… මතක තියාගන්න වටිනවා … ආන්ඩුව ජනතාවට තොරතුරු සැපයීමට වඩා සම්පූර්ණෙන් වෙනස් දෙයක් ආන්ඩුවේ ‘වෙලඳ දැන්වීම්’ කියලා … මේ වෙනස හඳුනා ගත්තැන් පස්සේ ‘වියදම’/’වටිනාකම’ අතර වෙනසත් පැහැදිලිව පෙනෙයි”
ලංකාවේ වැරදි සොයන්න කොයි තරම් අකමැති වුනත් මේ වගේ සකාච්ඡා වලින් මට හිතෙනවා අපිට ගෝනියාව වගේ රටකින් බොහොම දේ ඉගෙනගන්න පුළුවන් කියලා. නමුත් මේවා ගැන ලංකාවේ අන්ඩුවට බැනලා වැඩක් නෑ. බනිනවානම් බනින්න ඕන අපිටමයි. අර රාහිත් කිව්ව වගේ ‘ජයවේවා!’ කියන්නෙත් ‘මුං හොරු’ කියන්නෙත් අපි. එහෙම සහය/විරුද්ධත්වය නොපෙන්වා අපි පන්දම් නොඅල්ලා, පගා නොගෙන, ඇත්ත ඇති හැටියට ඕනෑම ක්රියාපරිපාටියක ‘වටිනාකම’ හරියට හඳුනාගන්නත්, ඒ අනුව හොඳ/නරක වෙන්කර ගන්නත් ඉගෙන ගත්තොත්, දේශපාලකයොත් වෙනස් වෙන්න වැඩි කාලයක් නොයන බව මට විශ්වාසයි.